Wednesday, March 22, 2017

දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ

"ගොයම් නැටුමකට දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ "




අද උදේ මේ සින්දුව ඇහෙද්දී මට මතක් වුනේ අපේ බලශක්තිය ගැන හැමෝටම උපදෙස් දෙන පරිසරවේදියෝ ටික..... බලශක්ති ඔස්තාද් වගේ කෑ ගැහුවට ජෙනරේටර් එකක් දුවන හැටි දන්නේ නැහැ.... හැබැයි ටීවී එකේ පත්තරේ හොඳට රඟ දක්වනවා....
ඊට පස්සේ ටික 
"කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන දරුවෝ"
මේකෙන් මේ කියන්නේ හැමදාම පුනර්ජනනීය කතා ටිකක් ටීවී එකෙයි පත්තරෙයි දාල පස්සේ ඩිසල් විදුලි බලාගාර පස්සේ දුවල ඩිසල් වලින් විදුලිය හදන එක ගැන..... ටැප් එකෙන් වතුර බිව්වට... ලිඳට ආවඩල පෙන්නන්නේ කලගෙඩි නැටුම්....

"දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරලිය හිමි නැති අපේ ළමයි....
හේනට කුඹුරට ගත සවි දියකර කරළිය අබියස බලා සිටි"
මේ ඉතින් අර බලශක්තිය පිලිබඳ මනා දැනුමක් ඇති නමුත් ඔවුන්ගේ බසට රටේ නායකයෝ කන් දෙන්නේ නැති විෂය පිලිබඳ ප්‍රවීණයෝ.... මේ ගොල්ලෝ අර නැටුම බලාගෙන ඉන්නවා.....


"තිරය ඇරෙනවා තිරය වැහෙනවා...." - මේ ඉතින් අර ෂෝ එක කාලෙන් කාලෙට කරනවා... ඩිසල් වලින් විදුලිය හදන කාලෙට කට වහන් ඉන්නවා... ගල් අඟුරු සැලසුමක් අවොත් ආපහු පුනර්ජනනීය නැටුම පටන් ගන්නවා ......
"ඔල්වරසන් හඬ පැතිරෙනවා" - මේ අර ගල් අඟුරු සැලසුම කඩා ඉහිරවලා දෙන පොර ටෝක් ටිකයි එකට ඔල්වරසන් දෙන අපේ හුදී ජනයෝ ටිකයි....


ගීත විචාරයක් නම් මීට කලින් කරලා නැහැ... හැබැයි අද උදේ කෑම කනකන් මේ සින්දුව අහන් ඉන්දැද්දී හිතුනේ මෙහෙම තමා
"සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා...."

මානවිකාවන්ගේ ඉඟ සුඟ දිහා බලන් ඉමු අපි ඉතින්!

පීලින්ග් පරිසර හිතකාමී විත් සිරි ලන්කන් එන්වෛරෝන්මෙන්ටලිස්ට්ස් ..........
-නදීර

Thursday, March 16, 2017

ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( පළමු කොටස)





ලංකාවේ බලශක්ති අර්බුදයක් ඇති බවත් ඒ සඳහා පියවරගැනීම කාලීන අවශ්‍යතාවයක්  බවත් සෑම විටකම මාධ්‍ය මගින් මෙන්ම දේශපාලකයන් ද  වේදිකාවල සංවාදයට ලක් කරනු ලබන මාතෘකාවකි. නමුත් නිවැරදි ලෙස මෙම අර්බුදය කුමක්ද යන්න පැහැදිලි කර ඇති සිංහල ලිපි වල අඩුවක් දක්නට ලැබෙන අතර මේ පිලිබඳ නිවැරදි දැක්මක් සාමාන්‍ය ජනසමාජය තුල නොමැති බවත් දක්නට ලැබේ. මෙම ලිපිය එම අඩුව පුරෝකථනය කිරීමට හා මේ විෂය පිළිබඳව නිවැරදි දැක්මක් ලබාදීමට ගන්නා උත්සාහයක ලිපි මාලාවේ පළමු කොටසයි. (බලශක්තිය සහ විදුලිය සම්බන්දයෙන් ඇති සිංහල පාරිභාෂික ශබ්ද මාලාවේ අඩු පාඩු හැකිතාක් දුරට මග හරවා පාඨකයාට නිවැරදි අදහස ලබාදීමට සෑම උත්සාහයක්ම ගනු ලැබ ඇති අතර වරහන් තුල සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන ඉංග්‍රීසි වචන තේරුම් ගැනීමේ පහසුව සඳහා යොදා ඇත )


බලශක්තිය (power ) සහ ශක්තිය (energy ) අතර වෙනස

සරලව පැවසුවහොත් ශක්තිය (energy ) යනු අපට කාර්යයක් කරගැනීමට හෝ කරවාගැනීමට ඇති හැකියාවයි. බලශක්තිය (power ) යනු එම කාර්යය කරවා ගැනීම සීග්‍රතාවයයි. ශක්තිය ජුල් (Joule ) වලින් මනින විට බලශක්තිය මනිනු ලබන්නේ ඒකක කාලයකදී කරන කාර්ය ප්‍රමාණය - තත්පරයකට ජුල් හෙවත් වොට් (Watt ) මගිනි. නිවසක විදුලි බිලේ යුනිට් එකක් ලෙසින් අදහස් කරනුයේ කිලෝවොට්පැය (killowatt Hour ) එකක් හෙවත් ජුල් මිලියන 3.6 ක ශක්ති ප්‍රමාණයකි. මීට සමාන්තරව විදුලි බුබුලක් වොට් 60 (60 Watt ) යනුවෙන් කීමෙන් පවසනුයේ එම විදුලි බුබුල තත්පරයකදී ජුල් 60 ක ශක්තිය පරිභෝජනය කරන (ආලෝක ශක්තියට පරිවර්තනය) කරන බවකි.



බලශක්තිය??

බලශක්තිය  යන වචන ඇසු විට එක් වරම අප ලාංකිකයන්ගේ  මතකයට එන්නේ - විදුලිය, ගෑස් , පෙට්‍රල්, ඩිසල්, භූමි තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි වදන්ය. මේ වචනවලින් විදුලිය හැරුණු විට අනික් ඒවා ලංකාවේ ඇති දේශීය ශක්ති ප්‍රභව (Energy sources ) නොවුනත් මේවා පමණක් අප සිහියට ඒමට හේතුව  වන්නේ එදිනෙදා වෙළඳ පොලේ ආර්ථික වටිනාකමක් ඇතුව හුවමාරු වන බලශක්ති ප්‍රභව මේවායි - තවත් විදියකින් කිවහොත් අපි මිලක් ගෙවන්නේ මේවා සඳහායි.

හොඳම උදාහරණ වන්නේ විදුලි බිල, පෙට්‍රල් බිල හා ගෑස් මිල  ආදී වශයෙන් අපගේ පසුම්බියෙන් මුදල් වැය කරනුයේ මෙම ශක්ති ප්‍රභේද සඳහා වීමය. අනෙකුත් දේශීය ශක්ති ප්‍රභව තිබුනත් ඒවාට අප ආර්ථික වටිනාකමක් එදිනෙදා වැඩකටයුතු වලදී ආදේශ නොකරන බැවින් අනෙකුත් ප්‍රභව අප වටා තිබෙන බව බොහෝ විට අපට හැගී නොයයි (උ.දා  - සුර්ය ශක්තියෙන් ඇඳුම් වේලා ගැනීම)


දේශීය ශක්ති ප්‍රභව

ලංකාවේ ඇති දේශීය බලශක්ති ප්‍රභව වලින් අප භාවිතයට සුලබ ලෙස ලබාගනුයේ,
  • දැව (දර)
  • සූර්ය බලය
  • සුලන්
  • ජල විභවය (ජල විදුලිය )




ලංකාවේ දේශීය ශක්ති ප්‍රභව ඇති නමුත් මේවා සඳහා අප රිජුව මුදලක් නොගෙවන බැවින් (ජල විදුලිය හැරෙන්නට) මේවා අප රටේ තිබෙන බව අපට එදිනෙදා ජීවිතයේදී මේවා පවතින බව අපට හැගී නොයයි. උදාහරණයක් ලෙස දර බොහෝ විට නොමිලේ එකතු කරගන්න අතර අනෙක් ඉහත සඳහන් ප්‍රභව සඳහා අප මිලක් ගෙවනුයේ වක්‍රාකාර ලෙස  ‘විදුලි බිල’ නමැති පොදු නාමිකයෙනි (ජල විදුලිය, සුර්ය, සුලන්, ඛනිජ තෙල් හෝ ගල් අඟුරු  ශක්තියෙන් සැදු විදුලිය ආදී වශයෙන්)


විදුලිය


බලශක්තිය සමග නිරතුරුවම කියවෙන නොකියා බැරි වචනයකි විදුලිය. අප පැහැදිලිව තේරුම් ගතයුතු කරුණක් වන්නේ විදුලිය යනු දැව, සුර්ය බලය, සුලන්, ගල් අඟුරු, බොර තෙල්  වැනි ස්වාභාවිකවම පවතින ප්‍රාථමික ශක්ති ප්‍රභවයක් නොවන අතර එම ප්‍රාථමික ශක්ති ප්‍රභව උපයෝගී කරගෙන නිපදවන ද්වීත්යික ශක්ති ප්‍රභවයක් පමණකි විදුලිය (seondary energy form ).
මෙය සරල උදාහරණයකින් පැහැදිලි කළහොත් විදුලි බලගාරයකදී ප්‍රාථමික ශක්ති ප්‍රභවයක් (ජලයේ විභව ශක්තියෙන්, ගල් අඟුරු/ඛනිජ තෙල් වල ශක්තියෙන්) උපයෝගී කොටගෙන විදුලිය නිපදවන අතර එම විදුලිය අප නිවසට පැමිණි විට අප එම විදුලිය භාවිතයට ගන්නේ නැවතත් ස්වභාවිකව පවතින ශක්ති ප්‍රභේදයක් බවට පරිවර්තනය කිරීමෙනි (බල්බයෙන් ආලෝක ශක්තිය, හීටරයෙන් තාප ශක්තිය ආදී වශයෙන්)



ලංකාවේ ශක්ති ප්‍රභව වල භාවිතයේ විකාශනය  

ඔබෙන් කවුරු හෝ ඇසුවහොත් ලංකාවේ මිනිසුන් භාවිතා කරන විශාලම ශක්ති ප්‍රභවය කුමක්ද කියා? බොහෝ දෙනෙකු පවසණු ඇත්තේ ඛනිජ තෙල්, ගල් අඟුරු වැනි පිළිතුරුය. නමුත් නිවැරදි පිළිතුර වන්නේ දැව (දර) ය.


පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන පසුගිය දශක හතරෙහි ලංකාවේ ශක්ති ප්‍රභව භාවිතයේ පරිණාමනය මේ සඳහා සාක්ෂි දරනු ඇත.




මුලාශ්‍රය - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
(දත්ත අරගෙන සිංහලෙන්ම ඇන්දා ඔබගේ පහසුවට)


ඉහත ප්‍රස්ථාරයෙන් දක්වා ඇති පරිදි,
    • දර වලින් ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපයනු ලැබේ. සියලුම ඛනිජ තෙල් වර්ගවල (පෙට්‍රල්, ඩිසල් හා භූමිතෙල්) හා ගල් අඟුරු ද එකතු කල විට ලැබෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රමාණයක බලශක්ති අවශ්‍යතාවයක් දර මගින් ලබා දෙනු ලැබේ. 2014 වර්ෂයේ ශ්‍රී ලාංකිකයන්ගේ ශක්ති අවශ්‍යතාවයෙන් 42.5% ප්‍රතිශතයක් සපයා ඇත්තේ දැව (biomass ) මගිනි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ 78% අප රටේ නිවෙස් වල ආහාර පිසීම සඳහා යොදාගන්නා ශක්ති ප්‍රභවය වන්නේ - දර ය.
    • මෙම ප්‍රස්ථාරය නිරීක්ෂණ කරන විට දැකිය හැකි අනෙක් වැදගත් කරුණ වන්නේ පසුගිය දශක හතර පුරා වැඩි වන බලශක්ති ඉල්ලුම පිරිමසින ලද්දේ ආනයනය කරන ඛනිජ තෙල් මගිනි. මෙහි ඇති භයානක කම වන්නේ අප ද්‍රවමය ඛනිජ තෙල් උගුලක (Liquid Petroleum Trap ) රටක් ලෙසින් සිරවීමට යන ගමනයි. ඉහත ප්‍රස්ථාරය මැනවින් එය පෙන්නුම් කරයි.


ලංකාවේ විදුලි බලශක්ති අර්බුදය හා සබැඳි ගල් අඟුරු බලාගාර ප්‍රශ්නය පිලිබඳ සරල පැහැදිලි කිරීමක් මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න!

Wednesday, March 15, 2017

මිථ්‍යාව සමාජ ගත කරන රාජ්‍ය උපදේශකගේ කථා වස්තුව

මාර්තු මස 15 වැනි දින දිවයින පුවත්පතේ පලවූ “ගල් අඟුරු බලාගාර මිත්‍යාව” නමැති ලිපියට පිළිතුරු ලිපියකි






මම ඊයේ දාපු බ්ලොග් පොස්ට් එකට කලාහිත බ්ලොග් එක ලියන කල්‍යාණ මිත්‍ර අහල තිබ්බ ඉහත කාරණේ ගැන..... මම ඊයෙම මේකට පිළිතුරු ලිපියක් ලියමින් හිටියේ! ඉතින් ඔබ සැමගේ වින්දනයට/දැණුමට සහ කමියගේ කොමෙන්ටුවටත් ප්‍රතිචාරයක් විදියට  පිළිතුරු ලිපිය අදම පල කරනවා!

මෙහි සඳහන් සියලුම කරුණු වලට හා සංඛ්‍යා ලේඛන වලට අදාළ මූලාශ්‍ර හය්පර්ලින්ක් කොට ඇත.

පළමුවෙන් පැවසිය යුත්තේ එම ලිපියේ ලියුම්කරු පවසන පරිදි ගල් අඟුරු භාවිතයෙන් තොරව එම ජාතික බලශක්ති අවශ්‍යතාවය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ප්‍රයෝගිකව සපුරා ගැනීමට හැකි නම් එය ඉතාමත් අගය කල යුතු ක්‍රියාවක් බවය. පැසසිය යුතු සහ සියල්ලන්ගේම ආශීර්වාදය සහයෝගය ලැබිය යුතු ක්‍රියාවක් බවය.

කලින් බ්ලොග් එකේ දාපු ලිපියකින් මම සරලව විස්තර කරා නොපෙනෙන විදුලියේ ටිකක් සංකීර්ණ කතාවක් සරලව - අපට රටක් වශයෙන් පුනර්ජනනීය විදුලියෙන් පමණක් යැපීමට ඇති ප්‍රයෝගික නොහැකියාව - "මොකටද බොලව් ගල් අඟුරු බලාගාර? දන්නේ නැද්ද සූර්ය, සුලන් බලාගාර ගැන?? "

ඉහත සඳහන් ලිපියේ ලියුම්කරු විසින් ඉතා මනරම් පුනර්ජනනීය ෆැන්ටසියක් මවා පැවද සැබවින්ම තිරය පිටුපස සිදුවන්නේ කුමක්ද යන්න විමසා බලමු.

යෝජිත සාම්පුර් ගල් අඟුරු බලාගාරයට විරුද්ධව උද්ගෝෂණය කල සහ එයට විරුද්ධව ක්‍රියා කල පරිසර සංවිධාන හා වෙනත් සංවිධාන (ඩිසල් විදුලි බලාගාර වලින් මුදල් ඉපැයීමට සිතාගෙන මෙම විරෝධතා ව්‍යාපාර වලට සම්බන්ධ වූ පිරිස හැරෙන්නට) බලාපොරොත්තු වුයේ එම ව්‍යාපෘතිය නතර කොට එම විදුලි ජනන ධාරිතාව පුනර්ජනනීය විදුලියෙන් පිරිමසා ගනු ඇති බවයි. නමුත් යතාර්ථය වුයේ අනෙකකි - එනම් 2016 සැප්තැම්බර් 14 වැනි දින (සාම්පුර් ව්‍යාපෘතිය නතර කරන බවට නීතිපතිවරයා උසාවියට දැන්වූ දිනට පසු දිනම) රජය විසින් මෙගාවොට් 300ක ස්වභාවික වායු බලාගාරයකට (natural gas ) ටෙන්ඩර් කැඳවීමයි. මේ දෙස මතුපිටින් බලන්නෙකුට මෙය ඉතාමත් කාලෝචිත සහ පරිසර හිතකාමී පියවරක් ලෙස පෙනෙනු ඇත. නමුත් අප සිහි තබා ගත යුත්තේ මෙම ස්වභාවික වායු බලාගාරය අඩුම වශයෙන් ඉදිරි වසර 5 - 10 කාලය තුල ක්‍රියාත්මක වන්නේ ඩිසල්  බලාගාරයක් (දැවි තෙල්) ලෙසය. මෙසේ ස්වභාවික වායු බලාගාරයක් ලෙස සාදා ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන ආකාරයේ ප්‍රථම බලාගාරය මෙය නොවේ. පසු ගිය අවුරුදු 9 පුරාවට ක්‍රියාත්මක වන කෙරවලපිටිය බලාගාරය මෙවැනි බලාගාරයකි - එනම් ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන ස්වභාවික වායු බලාගාරයකි.

මෙවැනි බලාගාරයකින් විදුලිය සැදීමෙන් අප ආර්ථිකයට සිදුවන්නේ සුළු පටු පාඩුවක් නොවේ.

විදුලි ඒකකයක් සඳහා පිරිවැය
කෙරවලපිටිය බලාගාරය (ඛනිජ තෙල් භාවිතයෙන් ක්‍රියාත්මක වන ස්වභාවික වායු බලාගාරය)
රු . 45.75
නොරොච්චෝලේ බලාගාරය (ගල් අඟුරු)
රු.. 7.63
විදුලි උත්පාදනයට වියදම් වන මුදල - මූලාශ්‍රය මහජන උපයෝගීතා කොමිසම 2015 වාර්තාව (Source - 2015 PUCSL Generation Report)

යෝජිත මෙවැනි ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන බලාගාරයකින් මෙගාවොට් 500 ක ධාරිතාවක් සපුරා ගැනීමට ගල් අඟුරු වලට සාපේක්ෂව වර්ෂයකට  රුපියල්  බිලියන 133 අතිරේක මුදලක් වැය කිරීමට සිදු වේ. කණගාටුවට කරුණ වන්නේ මෙම රුපියල් බිලියන 133 වැය කරනුයේ නව කර්මාන්තශාලා ඉදිකොට නව රැකියා ලබාදීමටවත්, නව විදුලි බලාගාර සදීමටවත් නොව පෞද්ගලික සමාගම් කිහිපයකට ඩිසල් මගින් හදිසි අවශ්‍යතාවය මත විදුලිය උත්පාදනය කිරීමට මුදල් ගෙවීමටය.

සැලසුම් කර තිබු එකම ගල් අඟුරු බලාගාරය අවලංගු කරන විට අපගේ දේශපාලන  නායකයන්  ජනතාව ඉදිරියේ (ජාතික ප්‍රතිපත්තියකින් තොරව ) නොයෙකුත් පුනර්ජනනීය කතා මවා පැවද සැබෑවටම තිරය පිටුපස සිදුවන්නේ මෙයයි. මෙම අතිරේක රුපියල් බිලියන 133 වාර්ෂික ඩිසල් බලාගාර සඳහා ගෙවීම යනු සැම අවුරුද්දකම මත්තල ගුවන්තොටුපල වැනි ගුවන්තොටුපළවල් හතරක් සැදීමට ප්‍රමාණවත් මුදලකි.

මෙසේ ඩිසල් විදුලි බලාගාර සෑදු විට අප පරිසරවේදීන් කිසිවෙකුත් ඊට විරුද්ධව හඬක් නගන්නේ නැත. නමුත් මෙසේ සාදන කුඩා පරිමාණ ඩීසල් බලාගාර වලින් පරිසරයට සිදුවෙන හානිය ඒ හා සමාන ධාරිතාවක් ජනනය කිරීමට සමත් මහා පරිමාණ ගල් අඟුරු බලාගාරයකට වඩා වැඩිය. නමුත් අප පරිසරවේදීන් මේවා ගැන අවදියෙන් සිටින්නේ නැති අතර "ස්වභාවික වායු බලාගාරය" කියල බෝඩ් එකක් දාල ඩිසල් බලාගාර හදපුවහම ඒක දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ....

කිසිදු සැලසුමකින් තොරව මෙසේ අවුරුදු ගණනක් ජාතික ධනය සහ විෂය පිලිබඳ ප්‍රවීනයයන්ගේ කාලය යොදවමින් සකස් කල ව්‍යාපෘතිය අවසන් අදියරේ අවලංගු කොට එම තීරණයෙන් මාස හතරකට පසු විෂය භාර ඇමතිතුමා මාධ්‍ය නිවේදනයකින් පැවසුවේ මීළඟ මාස 6 තුල වර්ෂාව නොලැබී ගියහොත් විදුලි කප්පාදුවක් සිදුවීම වැලක්වීමට මහා බණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවය. මෙම මුදල යනු අප රටේ ගෘහ සේවිකාවන් ලක්ෂ දෙකක් මැද පෙරදිග මාස 6 සේවය කොට උපයන මුදලට සමාන මුදලකි.


මෙහෙම චිත්‍රයක් මවා පාලා සැලසුම් කරපු ව්‍යාපෘති අවලංගු කරපු වෙලාවේ මීට හොඳයි වැස්ස වහැපියෝ කියල කොළ අතු ඇඳන් ගෝත්‍රික නැටුමක්  නැටුවා නම් !

මෙවැනි විනාශයක් අප ආර්ථිකයට සිදු කරගත්තේ ඛනිජ තෙල් වලින් විදුලිය සැදීමට නොව පුනර්ජනනීය බලශක්ති වලින් විදුලිය සැදීමට බව බොහෝ දෙනෙකුට අමතකය. “ගල් අඟුරු බලාගාර මිත්යාව “ නමැති ලිපියේ ලියුම්කරු  නොපවසන බොහෝ දෙනෙකුට නොපෙනෙන යථාර්තය මෙයයි.

අනික් එක ඉතින් සාමාන්‍යපෙළ අසමත් මන්ත්‍රීවරු 94 ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු මේ වගේ උපදේශකවරුන්ගෙන් උපදෙස් ගන්න එක පුදුමෙකුත් නෙවෙයි.

ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම


මේ සම්බන්ධයෙන් වෙනම බ්ලොග් පොස්ට් එකක් අප බ්ලොග් එකේ ලියා ඇත.


සංවර්ධිත රටවල් වල ගල් අඟුරු යථාර්තය

සංවර්ධිත රටවල් ගල් අඟුරු වලින් ඉවත් වෙන බවත් ඒවා නොසාදන බවත් යථෝක්ත ලිපියේ ලියුම්කරු සඳහන් කොට ඇති බැවින් පහත නිදසුන සමග මෙම ලිපිය අවසන් කරමි.

අප පුනර්ජනනීය බලශක්තිය සඳහා උදාහරණයක් ලෙස යොදා ගන්න ජර්මනිය තවමත් එරටේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 44% නිෂ්පාදනය කරනුයේ ගල් අඟුරු භාවිතයෙනි.

moorburg_02.jpg

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජර්මනියේ ඇති නවතම මෙගාවොට් 1500 ක (සාම්පුර් යෝජිත බලාගාරය මෙන් තුන්ගුණයක් විශාල) ගල් අඟුරු බලාගාරයකි - මූර්බුග් බලාගාරය . මෙය ඉතා ඈත අතීතයේ ඉදි කල බලාගාරයක් නොවේ. මෙම බලාගාරය විවෘත කරන ලද්දේ 2015 වර්ෂයේදීය. තවත් වැදගත් කරුණ වන්නේ මෙම බලාගාරය පිහිටා ඇත්තේ යුරෝපයේ හරිත අග නගරය ලෙස පිදුම් ලැබූ හැම්බර්ග් නගරයේය! එම බලාගාරය පිහිටා ඇති ප්‍රදේශයේ සශ්‍රිකත්වයත් ජර්මනිය රටක් ලෙස ලබාගෙන ඇති සෞභාග්‍යත්වයත් දෙස බුද්ධිමත් පාඨක ඔබට විස්තර කිරීම අනවශ්‍යයයි සිතමි.

එහෙත් ශ්‍රී ලංකික අපි? සිතීම ඔබට භාරය!



ප. ලි - තව එකක් මම පහුගිය කාලේ (ඒ කියන්නේ මේ එක එක ඒවා ලියන්ඩ ගත්ත කාලේ ) තේරුම් ගත්ත දෙයක් තමා සිංහල පත්තර වල කතුවරු නිවැරදි මූලාශ්‍රයක් පදනම් කරගෙන තාර්කිකව යමක් කියද්දී එක පත්තරේ පල කරන්ඩ මැලි වෙනවා... ලංකාවේම ඉංග්‍රීසි පත්තරවල මේ ට්‍රෙන්ඩ් එක අඩුයි... නැත්තේම නැහැ නෙවෙයි... සාපේක්ෂව අඩුයි... පත්තරේ ඉතින් ලියන්නේ ඉල්ලුමට සැපයුමක් දෙන්ඩ නේ.. මගෙන් සමහර කතෘල කෙලින්ම අහල තියෙනවා ඔය සාම්පුර් හොඳයි කියන්නේ නැතුව බලශක්ති අර්බුදේ ගැන ලිපියක් ලියල දෙන්ඩ බැරිද කියල .. එකම රටේ වුණාට මේ භාෂා දෙකකට ඉන්නේ පාඨකයෝ දෙගොල්ලක්ද මන්ද ... හැබැයි ඉතින් මම නම් වැඩියෙන් කැමති සිංහලෙන් ලියන්න... ඒක හින්ද එහෙම ලියන ඒවා fb එකෙයි බ්ලොග් එකෙයි දානවා....

අපේ පරිසරවේදීන්, ජාතික ප්‍රතිපත්ති හා ජාතික ආර්ථිකය

ඇතිවියහැකි පාරිසරික ප්‍රශ්න හේතුවෙන් යෝජිත මෙගාවොට් 500 සාම්පුර් ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය නතරකොට දැනට මාස හයකට ආසන්න  කාලයක් ගතවී ඇත.


සාම්පුර් නතර කිරීමේ පසුබිම

යෝජිත සාම්පුර් ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරියෙන් අවශ්‍ය පාරිසරික අනුමැතිය ලබාගෙන තිබියදී රජය විසින් කුමන පදනමක් යටතේ එම ව්‍යාපෘතිය පාරිසරික පදනම යටතේ අවලංගු කරේද යන්න බලවත් ප්‍රශ්නයකි.
අංක 47 දරන 1980 ජාතික පරිසර පනත මගින් ශ්‍රී ලංකාවේ පාරසරික කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බලාත්මක කොට ඇති මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලංකාවේ පවතින නීති රීති වලට අනුව අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති ව්‍යාපෘතියක් පවතින රජය මගින්ම පාරිසරික සාධක මත පදනම්ව අවසන් මොහොතේ අවලංගු කිරීම අප රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති අකාර්යක්ෂමතවත් ජාතික ප්‍රතිපත්ති වල ඇති කාලීන බවත් නැවතත් විමසුමට ලක් කල යුතු බව අපට පසක් කරවයි.


ජාතික ප්‍රතිපත්තියකින් තොරව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම

බලශක්තිය සඳහා ඇති ජාතික ප්‍රතිපත්තිය කල් ඉකුත්වී අවුරුදු 7 ගතවී ඇති අතර අලුතෙන් රටට ගැලපෙන ප්‍රතිපත්තියක් සෑදීමෙන් තොරව රටේ දේශපාලන නායකත්වය රටේ ඇති එක් එක් බලශක්ති ව්‍යාපෘති සඳහා “ප්‍රතිපත්තිමය තීරණ” ගණු ලබන බව විෂය භාර ඇමතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශවලින් පෙනී යයි. රටක බලශක්තිය සහ පරිසරය පිලිබඳ තීරණ ගත යුත්තේ සහ ප්‍රතිපත්ති සකස් කල යුත්තේ දශක කිහිපයක් ඉදිරියට හිතාය.


අවුරුදු 5 පමණ කාලයක් සැලසුම් කල යුතු සංකීර්ණ සාම්පුර් වැනි ව්‍යාපෘතියක් අවසන් මොහොතේ (මෙහි ඉදිකිරීම් කටයුතු කිරීමට අදාල සමාගම භූමියට පැමිණ සිටි අවස්ථාවේ) අවලංගු කිරීමත් කෙටි කාලීනව බලශක්ති අර්බුදය විසඳා ගැනීමට දැන් ඩීසල් බලාගාර සඳහා අධික පිරිවැයක් දරා යොමු වීමත් අප ජාතියක් ලෙස සැලසුමකින් තොරව තීරණ ගන්නා බවට සාක්ෂි දරයි.

සාම්පුර් නතර කිරීමේ මූලික අරමුණු

සාම්පුර් ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධානයක් වන “සීමාසහිත පාරිසරික පදනම” - EFL විසින් ශ්‍රේෂ්ටාධිකරණයේ පවරන ලද නඩුව මගින් සාම්පුර් ව්‍යාපෘතිය ලබාගෙන ඇති පාරිසරික අනුමැතිය අභියෝගයට ලක් කර එම ව්‍යාපෘතිය අවලංගු කරන මෙන්ද බලශක්ති ප්‍රභවයක් ලෙස ලංකාවේ ගල් අඟුරු භාවිතය නතර කරන මෙන්ද ඉල්ලා තිබිණ. උසාවියේ නඩු තීන්දුව ලබාදීමට ප්‍රථම නීතිපති වරයා විසින් 2016 සැප්තැම්බර් 13 වැනි දින සාම්පුර් ව්‍යාපෘතිය ඉදිරියට නොයන බව උසාවියට දැන්වීමෙන් පසුව නිල වශයෙන් යෝජිත ව්‍යාපෘතිය අවසන් විය.


මෙම ව්‍යාපෘතියට විරුද්ධවූ බහුතරයක් විශේෂයෙන් පරිසරවේදීන් බලාපොරොත්තු වුයේ මෙම මෙගාවොට් 500 ක විදුලි ජනන ධාරිතාව පුනර්ජනනීය බලශක්ති මගින් හා ස්වභාවික වායු මගින් සපුරා ගනු ඇති බවයි.


නමුත් ඇත්තටම සිදුවන්නේ කුමක්ද? අප රටක් ලෙස පරිසරයටත් ආර්ථිකයටත් සාධාරණයක් ඉටු කරමින් පවතින්නේද? මදක් විමසා බලමු!

සාම්පුර් වලින් ඔබ්බට

මෙම ව්‍යාපෘතියට විරුද්ධව හඬ නැගු බොහෝදෙනා බලාපොරොත්තු වූ පරිදි රජය සහ අදාළ බලධාරීන් විදුලි ජනන අඩුව පිරිමසා ගැනීමට පුනර්ජනනීය බලශක්ති (සුලන්, සූර්ය ) හෝ පරිසර දූෂණය අඩු පොසිල ඉන්ධනයක් වන ස්වභාවික වායු වැනි ශක්ති ප්‍රභව සැලකිල්ලට ගත්තේ නැත. ව්‍යාපෘතිය නතර කර දිනට පසුදිනම සැප් 14, 2015 රජය මෙගාවොට් 300ක ස්වභාවික වායු බලාගාරයකට ටෙන්ඩර් කැඳවන ලදී. මෙහි ඇති සිනහසහගත කරුණ වන්නේ මෙම ස්වභාවික වායු බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉන්ධනය ලෙස භාවිතා කරනුයේ ඩිසල් සහ දැවී තෙල්ය. මෙසේ ස්වභාවික වායු බලාගාරයක් සාද  ඛනිජ තෙල් මගින් ක්‍රියාත්මක වන පළමු මෙවැනි බලාගාරය මෙය නොවේ. දැනට අවුරුදු 8 පුරාවට ක්‍රියාත්මක වන මෙගාවොට් 300 ක ධාරිතාවයෙන් යුක්ත කෙරවලපිටිය තාප විදුලි බලාගාරය (යුගධනවී බලාගාරය) මෙයට හොඳම උදාහරණයයි.

විදුලි ඒකකයක් සඳහා පිරිවැය
කෙරවලපිටිය බලාගාරය (ඛනිජ තෙල් භාවිතයෙන් ක්‍රියාත්මක වන ස්වභාවික වායු බලාගාරය)
රු . 45.75
නොරොච්චෝලේ බලාගාරය (ගල් අඟුරු)
රු.. 7.63
විදුලි උත්පාදනයට වියදම් වන මුදල - මූලාශ්‍රය මහජන උපයෝගීතා කොමිසම 2015 වාර්තාව (Source - 2015 PUCSL Generation Report)


යෝජිත මෙවැනි ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන බලාගාරයකින් මෙගාවොට් 500 ක ධාරිතාවක් සපුරා ගැනීමට ගල් අඟුරු වලට සාපේක්ෂව වර්ෂයකට  රුපියල්  බිලියන 133 අතිරේක මුදලක් වැය කිරීමට සිදු වේ. කණගාටුවට කරුණ වන්නේ මෙම රුපියල් බිලියන 133 වැය කරනුයේ නව කර්මාන්තශාලා ඉදිකොට නව රැකියා ලබාදීමටවත්, නව විදුලි බලාගාර සදීමටවත් නොව පෞද්ගලික සමාගම් කිහිපයකට ඩිසල් මගින් හදිසි අවශ්‍යතාවය මත විදුලිය උත්පාදනය කිරීමට මුදල් ගෙවීමටය.


සැලසුම් කර තිබු එකම ගල් අඟුරු බලාගාරය අවලංගු කරන විට අපගේ දේශපාලන  නායකයන්  ජනතාව ඉදිරියේ (ජාතික ප්‍රතිපත්තියකින් තොරව ) නොයෙකුත් පුනර්ජනනීය (Renewable ) කතා මවා පැවද සැබෑවටම තිරය පිටුපස සිදුවන්නේ මෙයයි. මෙම අතිරේක රුපියල් බිලියන 133 වාර්ෂික ඩිසල් බලාගාර සඳහා ගෙවීම යනු සැම අවුරුද්දකම හම්බන්තොට ගුවන්තොටුපල වැනි ගුවන්තොටුපළවල් හතරක් සැදීමට ප්‍රමාණවත් මුදලකි.


කිසිදු වෙනත් සැලසුමක් නොමැතිව අවුරුදු ගණනක් තිස්සේ සැලසුම් කල විදුලි බලාගාරය අවලංගු කල රජය මුනිවත රකිමින් සිට, ජනවාරි 20 දින ගරු බලශක්ති හා පුනර්ජනනීය ඇමති -  රන්ජිත් සියඹලාපිටිය මාධ්‍ය සාකච්ඡාවකින් පැවසුවේ ඊළඟ මාස 6 වර්ෂාව අඩු වන විට විදුලිය කැපීම නතර කිරීමට (පෞද්ගලික ඩිසල් බලාගාර වලට මුදල් ගෙවීමට) රුපියල් බිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවය.

ඉතින් මෙවැනි විනාශයක් අප ජාතික ආර්ථිකයට කරමින් පරිසරය සඳහා අප සාධාරණයක් ඉටු කරන්නේද කියා විමසා බලමු.

නිපදවන  තාප ඒකකයක් ( 1 Billion BTU) නිසා
පිට වන පරිසර දූෂණ වායු (රාත්තල් වලින්)
ගල් අඟුරු
ඛනිජ තෙල්
ස්වභාවික වායු
කාබන් ඩයෝක්සිඩ්
208,000
164,000
117,000
කාබන් මොනොක්සිඩ්
208
33
40
නයිට්‍රජන් ඔක්සයිඩ්
457
448
92
සල්ෆර් ඩයෝක්සිඩ්
2591
1122
0.6
දූවිලි අංශු (Particules)
2744
84
7
මුලාශ්‍රය - එක්සත් ජනපද බලශක්ති   EIA)


ඉහත වගුවෙන් පෙනෙන පරිදි අප ජාතික ආර්ථිකයට විශාල හානියක් සිදු කරමින් අප ගල් අඟුරු බලාගාරයක් අවලංගු කොට ඛනිජ තෙල් බලාගාර වලින් විදුලිය නිපදවීමට ඇති විශාල ධනස්කන්දයක් වැය කොට මිරිඟුවක්  පසු පස දුවමින් සිටින බවත් අපට නැවත වතාවක් වැරදී ඇති බවත් තේරුම් ගත යුතුය. (තවත් සිහි තබාගත යුතු කරුණක් වන්නේ ඉහත වගුවේ දැක්වෙන්නේ සාමාන්‍යයෙන් ගල් අඟුරු වලින් පිටවන වායු ප්‍රමාණයන් ය . ඉහල තාක්ෂණයක් භාවිතයෙන් එම විමෝචනය වන වායු පරිසරයට මුදා හැරීම පාලනය කල හැකිය - clean coal technology )


නැවත වතාවක් රටක් ලෙස  වැරදී ඇති බව පැවසුවේ අප අපගේ එකම ගල් අඟුරු බලාගාරය වන  නොරොච්චෝලේ බලාගාර ව්‍යාපෘතිය පමා කිරීම නිසා 2004 - 2014 කාල පරිශ්‍රය තුල අප ආර්ථිකයට සිදු වූ පාඩුව රුපියල් බිලියන 600 ක් වැනි විශාල මුදලකි (මුලාශ්‍රය - ආචාර්ය තිලක් සියඹලාපිටිය ). මෙම අති විශාල මුදල යොදාගෙන පරිසරය සුරැකීමට මෙන්ම අප රටේ දැවෙන ප්‍රශ්න වලට ප්‍රාග්ධන වියදම් ලෙස යොදා ගැනීමට තිබ්බේ නැද්ද යන්න තීරණය කිරීම බුද්ධිමත් පාඨක ඔබට භාර කරමි.

ගල් අඟුරු මගින් විශාල පරිසර දූෂණයක් වන බව සෑම විටම ජන මාධ්‍ය මගින් විවිද විශාරදයන් කරුණු දැක්වුවද එක්  පරිසරවේදියෙක් හෝ දැනට ක්‍රියාත්මක වන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අවට වායු දූෂණ වාර්තාවක් (ambient air quality report ) ලබා ගැනීමට හෝ  භූගත ජලය/මුහුදු ජලය සාම්පලයක් විශ්ලේෂණය කිරීමට ප්‍රයත්නයක් නොගැනීම කණගාටුවට කරුණකි. බලාගාරය අවට අඩුම තරමේ පස් සාම්පලයක් රැගෙන විශ්ලේෂණය කල පරිසර වේදියෙකු නොමැත. සියලුම ගල් අඟුරු ව්‍යාපෘති වලට විරුද්ධ වන්නන් කරනුයේ අන්තර්ජාලයෙන් ගල් අඟුරු වලින් සිදුවිය හැකි පරිසර දූෂණයක් හුව දැක්වීමක් මිසක අප රටේ නිසි අධ්‍යයනයක් නොකර සිටීමය.


අප මෙසේ අප ආර්ථිකයට විශාල පාඩුවක් කර ගනිමින් ඩිසල් බලාගාර සමාගම් කිහිපයක් පොහොසත් කරන විට කාර්මික වශයෙන් දියුණු රටක් වන අප බොහෝවිට අප පුනර්ජනනීය බලශක්තිය සඳහා උදාහරණයක් ලෙස යොදා ගන්න ජර්මනිය තවමත් එරටේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 44% නිෂ්පාදනය කරනුයේ ගල් අඟුරු භාවිතයෙනි.


moorburg_02.jpg


ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජර්මනියේ ඇති නවතම මෙගාවොට් 1500 ක (සාම්පුර් යෝජිත බලාගාරය මෙන් තුන්ගුණයක් විශාල) ගල් අඟුරු බලාගාරයකි - මූර්බුග් බලාගාරය . මෙය ඉතා ඈත අතීතයේ ඉදි කල බලාගාරයක් නොවේ. මෙම බලාගාරය විවෘත කරන ලද්දේ 2015 වර්ෂයේදීය. තවත් වැදගත් කරුණ වන්නේ මෙම බලාගාරය පිහිටා ඇත්තේ යුරෝපයේ හරිත අග නගරය ලෙස පිදුම් ලැබූ හැම්බර්ග් නගරයේය! එම බලාගාරය පිහිටා ඇති ප්‍රදේශයේ සශ්‍රිකත්වයත් ජර්මනිය රටක් ලෙස ලබාගෙන ඇති සෞභාග්‍යත්වයත් දෙස බුද්ධිමත් පාඨක ඔබට විස්තර කිරීම අනවශ්‍යයයි සිතමි.


එහෙත් ශ්‍රී ලංකික අපි? සිතීම ඔබට බාරයි!

Wednesday, March 1, 2017

අපි ඇත්තටම Unique ද? අසමසම ද?





මට ඔබේ හිත කියවිය හැකියැයි මොහොතකට සිතන්න! 

එසේ නම් මා ඔබ ගැන මෙසේ පවසන්නම්!

ඔබ ඉතා මහන්සි වී වැඩ කරයි. නමුත් බොහෝ වෙලාවට අනෙක් අය  ඔබව අගය නොකරයි මන්ද ඔබ ඔවුන්ගේ අභිමතාර්ථයන් මුදුන් පත් නොකරන බැවින්. එසේ නමුත් ඔබ ඔබට ඉතාමත් වැදගත් දේවල් වෙනුවෙන් ඉතා මහන්සියක් සහ වෙහෙසක් දරයි. 

නැත - ඔබ සෑම විටම සම්ප්‍රදායික ක්‍රමවලින් සම්ප්‍රදායික රාමු තුල  සාර්ථක වන්නේ නැත - එයින් ඔබට කමක් නැත. මන්ද ඔබ අනෙකා සිතන දෙය ගැන වැඩි අවධානයක් යොමු නොකරන බැවින්.

පවතින ක්‍රමයන්, නිතී රීති හා සම්ප්‍රදායන් බොහොමයක් පවතින්නේ හේතුවක් ඇතිව බව ඔබ විශ්වාස කරයි. එම නිසා ඔබ ඒවා කඩන්නට හෝ ඒවාට අභියෝග කරන්නට පෙළඹෙන්නේ නැත. නමුත් ඔබ අභ්‍යන්තරයෙන් විශ්වාස කරන්නේ ඔබගේ ඇතුලාන්තය  (inner  voice ) ඔබට කියන/ හඟවන දෙය ඔබට  නිවැරදිව මගපෙන්වන බවයි. නමුත් අන් අයට ඔබ ඇතුලේ ඇති මෙම අතිමහත් ශක්තිය පෙනෙන්නේ නැත. එම නිසා අනෙක්  අය ඔබව අවතක්සේරු කරයි. නමුත් සමහර විටෙක ඔබ තුල ඇති හැකියාවන් ඔවුන්ව පමණක් නොව ඔබවද මවිත කරවයි.

ඔබ අලුත් දේවල් ඉගෙන ගැනීමට අසා කරයි - නමුත් ඔබ සැබවින්ම විස්වාස කරනුයේ අධ්‍යාපනය සෑම විටම කිසියම් රාමුවකට කොටු වී නොතිබිය යුතු බවත් අප ඉගෙන ගන්නා දෙයක්ම කිසියම් අරමුණකින් ඉගෙන ගත්ත යුතු නැති බවත් ය. 

ඔබ සෑම විටම නැති බැරි ඔබ තරම් වාසනාවන්ත නොවූ අයට උදවු කිරීමට කැමැත්තකින් පෙලේ. ඔබට සෑම විටම එසේ එවන් අයට උදවු කිරීමට නොහැකි වුවත් ඔබ සිත ඔවුන් කෙරෙහි දයානුකම්පාවෙන් පෙලේ. 

ජීවිතය ඔබට ඉතාමත් කටුක අවස්ථාවන් වලට මුහුණ පෑමට සැලස්වුවත් ඔබ සෑම විටකම එම වැටුණු වලවල් වලින් ඉවතටවිත් ජීවිතයේ ඉදිරියට ගමන් කරයි. 

ඔබ සෑම විටකම විශ්වාස කරනුයේ ඔබ නියත ආත්මශක්තියෙන් නොසැලී ඔබගේ අරමුණු වෙත අවධානය යොමු කරන්නේ නම් ඔබගේ අභිමතාර්ථයන් සියල්ල සඵල වන බවයි.  

ඉතා නුදුරු අනාගතයේදී එළඹෙන ඉතාම විශේෂ අවස්ථාවක් නිසා ඔබගේ පෞද්ගලික /වෘත්තීය ජීවිතයේ හොඳ කලක් උදා වනු ඇත. ඔබ ඉතා සැලකිල්ලෙන් එම අවස්ථාව එළඹෙන තෙක් අවධානයෙන් බලා සිටිය යුතුය!


"The Art of Choosing" නැමති පොතේ කොටසක සිංහල අනුවාදයකි. මෙම පොත ලියා  ඇත්තේ ශීනා ඉයෙන්ගර් නමැති අන්ධ ලේඛිකාවයි. 







Sunday, February 26, 2017

මොකටද බොලව් ගල් අඟුරු බලාගාර? දන්නේ නැද්ද සූර්ය, සුලන් බලාගාර ගැන??







හැමෝම දන්නවා ගල් අඟුරු වල තියෙන පාරසරික ප්‍රශ්න ගැන හා එකට තියෙන විරෝධේ ..... ඉතින් අපේ අදාළ බලධාරීන් විශේෂයෙන් මේ ක්ෂේත්‍රය පිලිබඳ දැනුවත් අය මොකෝ මේ ගල් අඟුරු පස්සෙම දුවන්නේ? ඇයි මේ පරිසරවෙදියෝයි මේකට විරුද්ධව කෑ ගහන අය කියන විදියට පුනර්ජනනීය බලශක්තියට යන්නේ නැත්තේ? අද කථා කරන්නේ ඒක ගැන සරලව! උඩ තියෙන බහිරව රූපේ නැත්තම් වාමන රුපෙට මේකට අදාළ වෙන්නේ කොහොමද කියල පසුවට විස්තර කරන්නන්.....


ලංකාවේ දෛනික විදුලි ඉල්ලුම වෙනස් වෙන ආකාරය 




ඉහත ප්‍රස්ථාරෙන් පේනවා ඇති ආකාරයට අසන්න වශයෙන් මෙගාවොට් 1000 ක BASELOAD එකක් එහෙමත් නැත්තම් පාදක ඉල්ලුමක් තියෙනවා ... ඒ ඉල්ලුම උඩට තව දවසේ වෙලාව අනුව විචල්‍ය ඉල්ලුමක් එකතු වෙලා අපේ ජාතික විදුලි ඉල්ලුම (Total Demand ) හැදෙනවා!

මේ baseload එක දවස පුරා ඒකාකාරව ස්ථායීව සැපයිය යුතුයි... නැත්තන් විදුලි පද්ධතිය බිඳ වැටෙනවා.....



උදාහරණයක් අරන් බලමු!


මම මේකට උදාහරණයක් විදියට ගන්නේ මගේ මිත්‍ර චමිල් එදිරිමුණි මුහුණු පොතේ ලියපු කොමෙන්ටුවකින් ගත්ත අදහසක්... මමත් කාලයක් තිස්සේ උදාහරණයක් හිත හිත හිටියත් හරියන එකක් හම්බ වුනේ චමිල් ගෙන්... ඉතින් මේකට වස්තු බීජය දීමේ සම්පූර්ණ ගෞරවය ඔහු සතුයි.

හිතන්න අපිට කොළඹ සිට යාපනය බලා යන්න පුළුවන් ප්‍රවාහන ක්‍රම විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් අඩු මුදලට යන්න අවශ්‍ය නම් අපි යන්න ඕනේ කෝච්චියේ . කෝච්චියේ මේකේ විශාලම දුර ප්‍රමාණය ගිහිල්ලා බැස්සම යාපනය නගරයේ හා ඒ අවට කරක් ගහන්න ඕනේ නම් හොදම දේ තමයි එක්කෝ ත්‍රිවිල් නැත්තම් බයිසිකලේ. ඒ වගේම ඇවිදින්නත් අවශ්‍ය වන වෙලාවල් තියෙනවා. (මෙහිදී බස් උපරිම ප්‍රමාණයට පාරට දමා ඇති බව උපකල්පනය කරන්න.... හරියට අපේ රටේ හදන්ඩ පුළුවන් මහා පරිමාණ ජල විදුලි බලාගාර ඔක්කොම හදල තියෙනවා වගේ)

අපේ විදුලි පද්ධතිය ගත්තොත් මේ කෝච්චියේ යන ගමන හරියට ගල් අඟුරු බලාගරේ වගේ - Baseload එක.... එහෙමත් නැත්තන් අඩු වෑයමක් දාල අඩු පිරිවැයකින් ලොකු දුරක් කරදරයක් නැතුව යන ගමන.....කොළඹ ඉඳන් යාපනේ නගරෙට යන ගමන....

ඊට පස්සේ ඔය වටේ පිටේ ඇවිදින එක කරන්ඩ පුළුවන් - බයිසිකලේ, ත්‍රීරෝද රථය හා ඇවිදීම --- මේවා සමාන කරන්ඩ පුළුවන්  සුලන්, සූර්ය, කුඩා පරිමාණ ජල වගේ විදුලි බලාගාර වලට...

ඉතින් අපේ මේ ගමන යන්ඩ මේ හැම ප්‍රවාහන ක්‍රමයක්ම අවශ්‍යයි. මේ හැම ක්‍රමයේම තියෙන තාක්ෂණිකව ප්‍රබල තැන් වගේම දුර්වල තැන් (අඩු පාඩු) ගැන අවබෝධෙන් අපි ප්‍රවාහන මාධ්‍යය තෝරාගත යුතුයි.




අනික් ක්‍රමේ 

නැත්තන් ඉතින් හිතල බලන්ඩකෝ - මෙන්න මේ වගේ කතන්දරයක්..... අපිට දැන උගත් උපදේශකයෙක් ඇවිත් කියනවා දුම්රියේ යන්ඩ එපා යාපනේ ... පලයල්ලා බයිසිකලයක් පැදගෙන...... බයිසිකලේට මූලික වියදම (ප්‍රාග්ධන වියදම විතරයි) නඩත්තු වියදම ඉතාමත් අඩුයි.... ඉන්ධන වියදමක් ඇත්තෙම නැහැ.....

ඉතින් මෙහෙම බයිසිකලේ පැදගෙන කොළඹ ඉඳන් යාපනේට යමු කියල කියද්දී අපි ඕකට තව වතුර පොහොර දානවා මෙන්න මේ වගේ - 

"බලන්න මිත්‍රවරුනි එහෙම බයිසිකලේ පැදගෙන කොළඹ ඉඳන් යාපනේට යද්දී අපේ ශරීරය හොඳට ව්‍යායාම වෙනවා.... අපේ කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය අඩු වෙනවා.... අනික් එක සහෝදරවරුනි අපිට මේකට කිසිම ඉන්ධන වියදමක් යන්නේ නැහැ ......බලන්ඩ අපි කොච්චර මුදලක් ඉතුරු කරනවද. අනික් එක පිටරටට ඉන්ධන වෙනුවෙන් ඇදිල යන විදේශ විනිමය කොච්චර ඉතුරු වෙනවද?.. අනික් එක පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ... කිසිම විෂ වායුවක් පිට වෙන්නේ නැහැ ...අපිට පුළුවන් ගමන යද්දී වට පිට බලාගෙන සොභා සිරිය විඳගෙන යන්ඩ (නොමිලේම)...... මේ වගේ ලස්සන ප්‍රවාහන ක්‍රමයක් තියෙද්දී ඇයි ඔබලා බස් කොච්චි පස්සේ දුවන්නේ?"

ඉතින් මේ ආකර්ශනීය කතාව අහන (ගල් අඟුරු බලාගාර එපා ---- මෙච්චර ඉර එලිය තියෙද්දී මොකටද ඕවා.... මෙච්චර හුලං .... අනික් එක ඒවා නිකන් නේ... පරිසර දූෂනයකුත් නැහැ ) බහුතරයක් හිතනවා ඇත්ත නේ යකෝ කියලා ?

ඉතින් අපිත් බයිසිකලේ  යාපනේ යමු කියල අපි දුම්රිය මාර්ගේ වහල දාල (විදුලි පද්ධතිය පැත්තෙන් නම් ගල් අඟුරු බලාගරේ ව්‍යාපෘතිය නතර කරලා  දාල).. අපි කියනවා දැන් ඔක්කොම එවුන් යාපනේ යන්ඩ ඕනේ නම් බයිසිකලේ පලයල්ලා කියලා ..... පශ්චාත් භාගේ පට්ට යනකන් කොහොමද කොළඹ ඉඳන් යාපනේට බයිසිකලේ පද්දහම? කොහොමද මේකේ ප්‍රයෝගික බව?

මෙන්න මේ උපදේශේ දෙන උපදේශකයා තමා - පරිසරවේදියා (හැමෝම නෙවෙයි... අන්ධ බාවයෙන් ගල් අඟුරු එපාම කියල කෑ මොර දෙන උප කුලකේ)..... 

ඉතින් මේකට විරුද්ධව හඬ නගන සමහරු කොච්චි පාර වහලා දාල වැඩි ගානට කාර් විකුණන ව්‍යාපාරෙකුත් (ඩීසල් විදුලි බලාගාර) කරනවා වේදිකාව පිටිපස්සේ..... මොකද මේ ගොල්ලෝ දන්නවා ටික දවසක් බයිසිකලේ යාපනේ පැද්දට ඒක ප්‍රයෝගික නැහැ කියල තෙරුනහම අපි කාර් ගන්නවා කියලා .... 

කොච්චි පාරක් හදන්ඩ ගොඩක් කල් යන හින්දත් අපිට යාපනේ යන්ඩ ඕනේ හින්දත් (බයිසිකලේ යාපනේට හැම තිස්සෙම පදින්ඩ බැහැ කියල තේරුම් යද්දී ) අපි අන්තිම මොහොතේ මෙන්න මේ කාර් ගන්නවා....හැබැයි මේ කාර් වැඩේ ඉක්මන් වුනාට  කොච්චි වගේ 6 ගුණයක් වියදම ...... ඒ වුනාට මොනවා කරන්ඩද? කරන්ඩ දෙයක් නැහැ... ණයට සල්ලි අරන් කාර් ගන්නවා යාපනේ නොගිහින් ඉන්නේ නැතුව ඉන්ඩ (විදුලිය කපන්නේ නැතුව ඉන්ඩ ) .... මේ කාර් විකුණන එවුන් (ඩීසල් මාෆියා එකේ ඉන්න එවුන්) කාර් ගෙනල්ල බලාගෙන ඉන්නේ ඒවා මිලදී ගන්ඩ එනකන්.... ඉතින් මේ ගොල්ලෝ මේකේ ඒකාධිකාරයක් (monopoly ) එකක් තියා ගන්නවා.... කියන මිලට කාර් ගන්ඩ වෙනවා අපිට.....

මෙන්න මේ කොච්චි පාරයි කොච්චියයි වගේ තමා ගල් අඟුරු බලාගාර .... අඩු වියදමකින් වැඩි දුරක් පහසුවෙන් යන්ඩ පුළුවන් වුනාට මේවා සැලසුම් කරන්ඩයි හදන්ඩ යි ලොකු කාලයක් වගේම වියදමක් යනවා..... ඉතින් කලින් සැලසුම් කරේ නැත්තන් අපිට අවශ්‍ය වෙලාවට කරගන්ඩ බැහැ ....

හැබැයි මේ කාර් (ඩිසල් විදුලි බලාගාර) නම් අඩු කාලෙකින් ගෙන්න ගන්ඩ  පුළුවන් ..... හැබැයි වියදම වැඩයි (නඩත්තු වියදම වගේම ඉන්ධන වියදම)..... අපිට ටික දවසකින් අමතකයි කොච්චි පාර වැහුවේ බයිසිකලේ යාපනේ යන්ඩ මිසක් කාර් එකේ යාපනේ යන්ඩ නෙවෙයි කියල.....

ඉතින් මේ විදියට දුම්රියේ යන ගමන කාර් එකේ යන්ඩ - එහෙමත් නැත්තන් නොරොච්චෝලේ වගේ ගල් අඟුරු බලගරේක වැඩේ කෙරවලපිටිය වගේ බලාගාර වලින් කරගන්ඩ - මෙගාවොට් 500 හදන්ඩ අවුරුද්දකට අමතරව රුපියල් බිලියන 133 යනවා.... මේක සමානයි අපි හැම අවුරුද්දෙම හම්බන්තොට ගුවන්තොටුපල වගේ ගුවන් තොටුපළවල් හතරක් හදන වියදමට! මේ ගණන් හැදීමට පාදක කර ගත්තේ පහත වගුවේ ගණන් මිනුම්!




මූලාශ්‍රය - 2015 විදුලි ජනන වාර්ථාව  (මහජන උපයෝගිතා කොමිසම) http://www.pucsl.gov.lk



බහිරවයා 

මෙන්න මේ ගල් අඟුරු බලාගරේ වැදගත්කම කියන්ඩ ලස්සන පින්තූරයක් දැම්ම 2014 අපේ ජාතික ශක්ති වාර්තාවේ (energy balance 2014)



මේකේ තියෙන බහිරව රූප නැත්තන් වාමන රූප හරියට ගල් අඟුරු බලගරේ වගේ.... මේ බහිරව රූප නේ ඊට උඩින් තියෙන පාදම උස්සන් ඉන්නේ... අන්න ඒ වගේ අපේ ජාතික විදුලි පද්ධතියේ බර උසුලාගෙන ඉන්නේ ගල් අඟුරු බලාගරෙන් - නොරොච්චෝලේ බලාගරෙන් ....  කුඩා පරිමාණ ඩීසල් බලාගාර ඔක්කොම එකතු කරපුවහම පරිසර දූෂණේ වැඩයි තක්ෂනෙන් ඉහල ගල් අඟුරු බලාගාරයක් එක්ක බලද්දී.....

ගල් අඟුරු බලගරේ කියද්දී අපිට පොඩි බයක් එනවා අන්න අර බහිරව රූප දකිද්දී වගේ ..... නමුත් පුරාණ විශ්වාස වල තිබ්බ වගේ අපිව රැක ගන්නේ මෙන්න මේ බහිරවයා නැත්තන් ගල් අඟුරු බලාගරේ .....


ඉතින් පුනර්ජනනී Vs ගල් අඟුරු කථා ටිකයි මේ කියපු කථාවයි පොඩ්ඩක් හිතල බලන්ඩකෝ ...... මම හිතනවා තේරුම් ගන්ඩ පුළුවන් වෙයි කියල...  ප්‍රශ්න තියෙනවා නම් අහන්ඩ පල්ලෙහා කොමෙන්ටු වල... මම පුළුවන් හැටියට උත්තර දෙන්නන්......


අවසාන වශයෙන් 

එකක් මතක තියාගන්ඩ 
"අපිට ටික දවසකින් අමතකයි කොච්චි පාර වැහුවේ බයිසිකලේ යාපනේ යන්ඩ මිසක් කාර් එකේ යාපනේ යන්ඩ නෙවෙයි කියල....." 

අපි ජාතියක් විදියට මේ ෆැන්ටසි එකට රැවටිච්ච එකට පරම්පරා ගානක් වන්දි ගෙවනවා ......සමාගම් කීපයක් පෝසත් කරලා  ඛනිජ තෙල් වලින් (ඩීසල් ) වලින් විදුලිය හදන්ඩ .... අන්තිමේට පරිසරේට හොඳකුත් නැහැ ආර්ථීකේට  හොඳකුත් නැහැ!

ඇත්ත තිත්තයි අපහසුයි පිළිගන්ඩ  - Inconvenient  Truth!