Wednesday, March 15, 2017

මිථ්‍යාව සමාජ ගත කරන රාජ්‍ය උපදේශකගේ කථා වස්තුව

මාර්තු මස 15 වැනි දින දිවයින පුවත්පතේ පලවූ “ගල් අඟුරු බලාගාර මිත්‍යාව” නමැති ලිපියට පිළිතුරු ලිපියකි






මම ඊයේ දාපු බ්ලොග් පොස්ට් එකට කලාහිත බ්ලොග් එක ලියන කල්‍යාණ මිත්‍ර අහල තිබ්බ ඉහත කාරණේ ගැන..... මම ඊයෙම මේකට පිළිතුරු ලිපියක් ලියමින් හිටියේ! ඉතින් ඔබ සැමගේ වින්දනයට/දැණුමට සහ කමියගේ කොමෙන්ටුවටත් ප්‍රතිචාරයක් විදියට  පිළිතුරු ලිපිය අදම පල කරනවා!

මෙහි සඳහන් සියලුම කරුණු වලට හා සංඛ්‍යා ලේඛන වලට අදාළ මූලාශ්‍ර හය්පර්ලින්ක් කොට ඇත.

පළමුවෙන් පැවසිය යුත්තේ එම ලිපියේ ලියුම්කරු පවසන පරිදි ගල් අඟුරු භාවිතයෙන් තොරව එම ජාතික බලශක්ති අවශ්‍යතාවය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ප්‍රයෝගිකව සපුරා ගැනීමට හැකි නම් එය ඉතාමත් අගය කල යුතු ක්‍රියාවක් බවය. පැසසිය යුතු සහ සියල්ලන්ගේම ආශීර්වාදය සහයෝගය ලැබිය යුතු ක්‍රියාවක් බවය.

කලින් බ්ලොග් එකේ දාපු ලිපියකින් මම සරලව විස්තර කරා නොපෙනෙන විදුලියේ ටිකක් සංකීර්ණ කතාවක් සරලව - අපට රටක් වශයෙන් පුනර්ජනනීය විදුලියෙන් පමණක් යැපීමට ඇති ප්‍රයෝගික නොහැකියාව - "මොකටද බොලව් ගල් අඟුරු බලාගාර? දන්නේ නැද්ද සූර්ය, සුලන් බලාගාර ගැන?? "

ඉහත සඳහන් ලිපියේ ලියුම්කරු විසින් ඉතා මනරම් පුනර්ජනනීය ෆැන්ටසියක් මවා පැවද සැබවින්ම තිරය පිටුපස සිදුවන්නේ කුමක්ද යන්න විමසා බලමු.

යෝජිත සාම්පුර් ගල් අඟුරු බලාගාරයට විරුද්ධව උද්ගෝෂණය කල සහ එයට විරුද්ධව ක්‍රියා කල පරිසර සංවිධාන හා වෙනත් සංවිධාන (ඩිසල් විදුලි බලාගාර වලින් මුදල් ඉපැයීමට සිතාගෙන මෙම විරෝධතා ව්‍යාපාර වලට සම්බන්ධ වූ පිරිස හැරෙන්නට) බලාපොරොත්තු වුයේ එම ව්‍යාපෘතිය නතර කොට එම විදුලි ජනන ධාරිතාව පුනර්ජනනීය විදුලියෙන් පිරිමසා ගනු ඇති බවයි. නමුත් යතාර්ථය වුයේ අනෙකකි - එනම් 2016 සැප්තැම්බර් 14 වැනි දින (සාම්පුර් ව්‍යාපෘතිය නතර කරන බවට නීතිපතිවරයා උසාවියට දැන්වූ දිනට පසු දිනම) රජය විසින් මෙගාවොට් 300ක ස්වභාවික වායු බලාගාරයකට (natural gas ) ටෙන්ඩර් කැඳවීමයි. මේ දෙස මතුපිටින් බලන්නෙකුට මෙය ඉතාමත් කාලෝචිත සහ පරිසර හිතකාමී පියවරක් ලෙස පෙනෙනු ඇත. නමුත් අප සිහි තබා ගත යුත්තේ මෙම ස්වභාවික වායු බලාගාරය අඩුම වශයෙන් ඉදිරි වසර 5 - 10 කාලය තුල ක්‍රියාත්මක වන්නේ ඩිසල්  බලාගාරයක් (දැවි තෙල්) ලෙසය. මෙසේ ස්වභාවික වායු බලාගාරයක් ලෙස සාදා ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන ආකාරයේ ප්‍රථම බලාගාරය මෙය නොවේ. පසු ගිය අවුරුදු 9 පුරාවට ක්‍රියාත්මක වන කෙරවලපිටිය බලාගාරය මෙවැනි බලාගාරයකි - එනම් ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන ස්වභාවික වායු බලාගාරයකි.

මෙවැනි බලාගාරයකින් විදුලිය සැදීමෙන් අප ආර්ථිකයට සිදුවන්නේ සුළු පටු පාඩුවක් නොවේ.

විදුලි ඒකකයක් සඳහා පිරිවැය
කෙරවලපිටිය බලාගාරය (ඛනිජ තෙල් භාවිතයෙන් ක්‍රියාත්මක වන ස්වභාවික වායු බලාගාරය)
රු . 45.75
නොරොච්චෝලේ බලාගාරය (ගල් අඟුරු)
රු.. 7.63
විදුලි උත්පාදනයට වියදම් වන මුදල - මූලාශ්‍රය මහජන උපයෝගීතා කොමිසම 2015 වාර්තාව (Source - 2015 PUCSL Generation Report)

යෝජිත මෙවැනි ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මක වන බලාගාරයකින් මෙගාවොට් 500 ක ධාරිතාවක් සපුරා ගැනීමට ගල් අඟුරු වලට සාපේක්ෂව වර්ෂයකට  රුපියල්  බිලියන 133 අතිරේක මුදලක් වැය කිරීමට සිදු වේ. කණගාටුවට කරුණ වන්නේ මෙම රුපියල් බිලියන 133 වැය කරනුයේ නව කර්මාන්තශාලා ඉදිකොට නව රැකියා ලබාදීමටවත්, නව විදුලි බලාගාර සදීමටවත් නොව පෞද්ගලික සමාගම් කිහිපයකට ඩිසල් මගින් හදිසි අවශ්‍යතාවය මත විදුලිය උත්පාදනය කිරීමට මුදල් ගෙවීමටය.

සැලසුම් කර තිබු එකම ගල් අඟුරු බලාගාරය අවලංගු කරන විට අපගේ දේශපාලන  නායකයන්  ජනතාව ඉදිරියේ (ජාතික ප්‍රතිපත්තියකින් තොරව ) නොයෙකුත් පුනර්ජනනීය කතා මවා පැවද සැබෑවටම තිරය පිටුපස සිදුවන්නේ මෙයයි. මෙම අතිරේක රුපියල් බිලියන 133 වාර්ෂික ඩිසල් බලාගාර සඳහා ගෙවීම යනු සැම අවුරුද්දකම මත්තල ගුවන්තොටුපල වැනි ගුවන්තොටුපළවල් හතරක් සැදීමට ප්‍රමාණවත් මුදලකි.

මෙසේ ඩිසල් විදුලි බලාගාර සෑදු විට අප පරිසරවේදීන් කිසිවෙකුත් ඊට විරුද්ධව හඬක් නගන්නේ නැත. නමුත් මෙසේ සාදන කුඩා පරිමාණ ඩීසල් බලාගාර වලින් පරිසරයට සිදුවෙන හානිය ඒ හා සමාන ධාරිතාවක් ජනනය කිරීමට සමත් මහා පරිමාණ ගල් අඟුරු බලාගාරයකට වඩා වැඩිය. නමුත් අප පරිසරවේදීන් මේවා ගැන අවදියෙන් සිටින්නේ නැති අතර "ස්වභාවික වායු බලාගාරය" කියල බෝඩ් එකක් දාල ඩිසල් බලාගාර හදපුවහම ඒක දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ....

කිසිදු සැලසුමකින් තොරව මෙසේ අවුරුදු ගණනක් ජාතික ධනය සහ විෂය පිලිබඳ ප්‍රවීනයයන්ගේ කාලය යොදවමින් සකස් කල ව්‍යාපෘතිය අවසන් අදියරේ අවලංගු කොට එම තීරණයෙන් මාස හතරකට පසු විෂය භාර ඇමතිතුමා මාධ්‍ය නිවේදනයකින් පැවසුවේ මීළඟ මාස 6 තුල වර්ෂාව නොලැබී ගියහොත් විදුලි කප්පාදුවක් සිදුවීම වැලක්වීමට මහා බණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 50ක මුදලක් ඉල්ලා ඇති බවය. මෙම මුදල යනු අප රටේ ගෘහ සේවිකාවන් ලක්ෂ දෙකක් මැද පෙරදිග මාස 6 සේවය කොට උපයන මුදලට සමාන මුදලකි.


මෙහෙම චිත්‍රයක් මවා පාලා සැලසුම් කරපු ව්‍යාපෘති අවලංගු කරපු වෙලාවේ මීට හොඳයි වැස්ස වහැපියෝ කියල කොළ අතු ඇඳන් ගෝත්‍රික නැටුමක්  නැටුවා නම් !

මෙවැනි විනාශයක් අප ආර්ථිකයට සිදු කරගත්තේ ඛනිජ තෙල් වලින් විදුලිය සැදීමට නොව පුනර්ජනනීය බලශක්ති වලින් විදුලිය සැදීමට බව බොහෝ දෙනෙකුට අමතකය. “ගල් අඟුරු බලාගාර මිත්යාව “ නමැති ලිපියේ ලියුම්කරු  නොපවසන බොහෝ දෙනෙකුට නොපෙනෙන යථාර්තය මෙයයි.

අනික් එක ඉතින් සාමාන්‍යපෙළ අසමත් මන්ත්‍රීවරු 94 ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු මේ වගේ උපදේශකවරුන්ගෙන් උපදෙස් ගන්න එක පුදුමෙකුත් නෙවෙයි.

ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම


මේ සම්බන්ධයෙන් වෙනම බ්ලොග් පොස්ට් එකක් අප බ්ලොග් එකේ ලියා ඇත.


සංවර්ධිත රටවල් වල ගල් අඟුරු යථාර්තය

සංවර්ධිත රටවල් ගල් අඟුරු වලින් ඉවත් වෙන බවත් ඒවා නොසාදන බවත් යථෝක්ත ලිපියේ ලියුම්කරු සඳහන් කොට ඇති බැවින් පහත නිදසුන සමග මෙම ලිපිය අවසන් කරමි.

අප පුනර්ජනනීය බලශක්තිය සඳහා උදාහරණයක් ලෙස යොදා ගන්න ජර්මනිය තවමත් එරටේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 44% නිෂ්පාදනය කරනුයේ ගල් අඟුරු භාවිතයෙනි.

moorburg_02.jpg

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජර්මනියේ ඇති නවතම මෙගාවොට් 1500 ක (සාම්පුර් යෝජිත බලාගාරය මෙන් තුන්ගුණයක් විශාල) ගල් අඟුරු බලාගාරයකි - මූර්බුග් බලාගාරය . මෙය ඉතා ඈත අතීතයේ ඉදි කල බලාගාරයක් නොවේ. මෙම බලාගාරය විවෘත කරන ලද්දේ 2015 වර්ෂයේදීය. තවත් වැදගත් කරුණ වන්නේ මෙම බලාගාරය පිහිටා ඇත්තේ යුරෝපයේ හරිත අග නගරය ලෙස පිදුම් ලැබූ හැම්බර්ග් නගරයේය! එම බලාගාරය පිහිටා ඇති ප්‍රදේශයේ සශ්‍රිකත්වයත් ජර්මනිය රටක් ලෙස ලබාගෙන ඇති සෞභාග්‍යත්වයත් දෙස බුද්ධිමත් පාඨක ඔබට විස්තර කිරීම අනවශ්‍යයයි සිතමි.

එහෙත් ශ්‍රී ලංකික අපි? සිතීම ඔබට භාරය!



ප. ලි - තව එකක් මම පහුගිය කාලේ (ඒ කියන්නේ මේ එක එක ඒවා ලියන්ඩ ගත්ත කාලේ ) තේරුම් ගත්ත දෙයක් තමා සිංහල පත්තර වල කතුවරු නිවැරදි මූලාශ්‍රයක් පදනම් කරගෙන තාර්කිකව යමක් කියද්දී එක පත්තරේ පල කරන්ඩ මැලි වෙනවා... ලංකාවේම ඉංග්‍රීසි පත්තරවල මේ ට්‍රෙන්ඩ් එක අඩුයි... නැත්තේම නැහැ නෙවෙයි... සාපේක්ෂව අඩුයි... පත්තරේ ඉතින් ලියන්නේ ඉල්ලුමට සැපයුමක් දෙන්ඩ නේ.. මගෙන් සමහර කතෘල කෙලින්ම අහල තියෙනවා ඔය සාම්පුර් හොඳයි කියන්නේ නැතුව බලශක්ති අර්බුදේ ගැන ලිපියක් ලියල දෙන්ඩ බැරිද කියල .. එකම රටේ වුණාට මේ භාෂා දෙකකට ඉන්නේ පාඨකයෝ දෙගොල්ලක්ද මන්ද ... හැබැයි ඉතින් මම නම් වැඩියෙන් කැමති සිංහලෙන් ලියන්න... ඒක හින්ද එහෙම ලියන ඒවා fb එකෙයි බ්ලොග් එකෙයි දානවා....

17 comments:

  1. මේක අපි සෙමා සබාපති තුමාට ලැබෙන්න සලස්සමු. :)

    ReplyDelete
  2. අපේ මිනිස්සු හැමතිස්සෙම අල්ල ගන්නේ වැරදි කොණෙන්, ඉබේ එහෙම උනේ නැත්තං ජාවාරම් කාරයෝ ගාණට අපේ මිනිස්සුන්ව ගොනාට අන්දවලා වැරදි කොණ අතට දෙනවා අල්ලගෙන හිටපිය කියලා...

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ඕකද කියලත් හිතෙනවා වෙලාවකට... අපි මේ අනවශ්‍ය දෙයක් ගැනද කතා කරන්නේ කියල හිතෙනවා......

      Delete
  3. මගේ අදහස නම්
    ගල් අගුරු පිච්චීමට තිත තැබිය යුතු කාලය පැමිණ ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. ගල් අඟුරු පිච්චීමට තිත තැබීමට මමත් එකඟ වෙමි... ඒ එක කොන්දේසියකට යටත්වය - එනම් ඒ වෙනුවට 6 ගුණයක් මිල අධික ඛනිජ තෙල් පිච්චීමෙන් වැළකෙන කොන්දේසිය උඩය ....

      Delete
    2. අශෝක solar කාරයෙක් නේද? පොර මොරටුව graduate මට මතක හැටියට.

      Delete
    3. https://en.wikipedia.org/wiki/Asoka_Abeygunawardana

      Delete
  4. ඩීසල් ගල අගුරු දෙකෙන් වඩා පරිසර හිතකාමී කෝකද ? මේ ළඟදි රූපවාහිනී වැඩසටහනක පෙන්නුවා නොරොච්චෝලේ අවට පලාතම කලුපාට කුඩකින් වැහිලා.. ගොවියො වගාකර්පු ඒවත් ඔක්කොම ඒ කුඩු ව්ලින් වැහිලා ගිහින්..

    ReplyDelete
    Replies
    1. http://www.swarthmore.edu/environmental-studies-capstone/comparison-against-other-fossil-fuels

      මේකේ තියෙනවා සංසන්දනයක්..... හැබැයි එකේ තියෙන්නේ සාමාන්‍ය අගයන්... අපි භාවිතා කරන තාක්ෂනෙත් එක්ක සමහර පරිසර දූෂණ විමෝචන ඉතාමත් අඩු තත්ත්ව වලට අඩු කරගන්ඩ පුළුවන්

      Delete
  5. අද ලංකාවෙ බලපෑම් විය යුත්තේ ගල් අඟුරු බලාගාර නවත්තන්න නෙමෙයි උපරිම තාක්ශනයෙන් යුත් බලාගාර හැදීම කෙරෙහියි කියලයි ගස්ලබ්බා මේ වෙනකොට හිතන්නෙ.
    සුපිරි ටෙස්ලා කාර් එකක් අරන් ගමේ ගිහින් එන්න බෑනෙ තාම.ඒ ගානට ගියාම එහෙම කොරමු.
    ජයවේවා..!!

    ReplyDelete
  6. /////"ස්වභාවික වායු බලාගාරය" කියල බෝඩ් එකක් දාල ඩිසල් බලාගාර හදපුවහම ඒක දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ....////////////

    සම්මා සම්බුදු සරණයි කියලා බෝඩ් එකක් ගහගෙන හොරෙන් හරක් පටෝන ලොරි දිහා පොලිස් රාලහාමිලා බලන්නේ නැහැ වගේ වැඩක්නේ.

    නොදන්න අයටත් වැටහෙන විදිහට ලිවීම අගයමි!

    ReplyDelete
  7. ඉතා හොඳින් පැහැදිලි කරලා තියනවා.

    හැමෝටම කරන්න අමාරුයි, නමුත් මම මුලු රෑම දැන් ග්‍රිඩ් එකෙන් අයින් වෙනවා. නිසාන් ලීෆ් බැටරි වල ගබඩා කරගත් විදුලි ඒකක දෙකක් මට ඒ පැය 12ට ඇති. ඒ ශක්තිය ලබා ගන්නෙ වොට් 300 සූර්ය පැනල් දෙකකින්

    ReplyDelete
    Replies
    1. http://twimalasuriya.blogspot.com/2017/03/03.html

      Delete
  8. නදීරගේ පරණ ලිපිත් ඉඩ පාඩු ඇති විටක කියවන්න ඕනේ.

    ReplyDelete

  9. මේකට අදාළ නැති උනත් මතක් වෙන කාරණයක් ලියල යන්නම්. පොල්තෙල් කන්ඩ එපා කොලෙස්ටරෝල් හැදෙනවා කියල පාම්තෙල් ගෙන්වන මුදලාලිලාගෙ අනුග්‍රහයෙන් රුපවාහිනියේ වැඩසටහනක් කරපු දොස්තර සැට් එකක් හිටියා , ටික කාලෙකට කලින්. මේවත් එවැනි ගේම් ද කියල හිතෙනවා..

    ReplyDelete
  10. ගල් අගුරු බලාගාරවලට පන්න පන්නා පහර දෙන සිරස අයිති මහාරාජාට ඩීසල් බලාගාර තියෙනවාද කියා සැකයි.

    ReplyDelete